ෂරියා නීතිය යනු කුමක්ද? (What is Sharia Law?)

අල්-කුරානයෙන් සහ නබිතුමාගේ හදිස් වලින් සමන්විත නීති පද්දතිය ශරියාව ලෙස හඳුන්වනු ලැබේ. මුස්ලිම්වරයෙකු ජිවත් විය යුත්තේ ශරියාවෙන් පෙන්වා දී ඇති රාමුව තුලය. එමගින් මිනිසා අල්ලාහ්ට කල යුතු නැමදීම් සහ මිනිසා මිනිසාට කල යුතු වගකීම් ආවරණය කෙරෙන්නේය. ඒ අනුව ශරියාව තුල සලාතය, සකාත්, උපවාසය, හජ් වලට අමතරව විවාහය, දික්කසාදය, වෙළඳාම, රාජ්‍ය පාලනය, මුල්‍යමය ගනු වැනි බොහෝ කරුණු අන්තර්ගත වන්නේය.

ඉස්ලාම් දහමේ පැවැත්ම සඳහා කුරානය, හදිස් සහ ශරියාව පිලිබඳ මනා දැනුමක් ඇති විද්වතුන් සිටිය යුතුය. එබැවින් ඒවා හැදෑරීම සඳහා පුර්ණ කාලින පාසල් පිහිටුවා තිබේ. ඒවායේ උගන්වනු ලබන්නේ අරාබි මාධ්‍යයෙන් වන බැවින් ඒවා නම් කොට තිබෙන්නේ මද්‍රසා යන අරාබි වචනයෙනි.

මද්‍රසාවලින් බිහිවන විද්වතුන්ගෙන් සමාජයට විශාල සේවයක් සිදු වන්නේය. දිවයින පුරා විහිදී ඇති දේවස්ථානවල සිකුරාදා දිනයන්හිදී සිදුකරනු ලබන දේව මෙහෙය සහ ඊට සම්බන්ද දේශනය සිදු කරනු ලබන්නේ ඔවුන් විසින්ය. තවද දෛනිකව සිදු කරනු ලබන පස්වේලා සලාතය මෙහෙයවන්නේද ඉස්ලාමිය විද්වතුන් විසින් ය. එහි ප්‍රතිපලයක් වශෙයෙන් මුස්ලිම්වරුන් අතර තැබෑරුම් නැත. ගණිකා මඩම් නැත. සාපේක්‍ෂ වශයෙන් අනෙක් වැරදි කරන අයද ඇත්තේ ඉතා සුළු වශයෙනි.

ෂරියා නීතියේ ඇති ඇතැම් කරුණු ක්‍රියාත්මක කිරීමෙන් ෂරියා නොවන නීති ක්‍රියාත්මක කිරීමට වඩා යහපත් ප්‍රතිපල ලැබෙන්නේය. මේ නිසා එම නීති ක්‍රියාත්මක වන රටවල් වල විශාල ලෙස වැරදි කරන අයගේ අඩුවක් දැකිය හැකිය.

කෙසේ වෙතත් ඇතැම් උදවිය ෂරියා නිතිය විවේචනය කරන්නේ කිසිම පදනමකින් නොවේ. එබැවින් නිතර විවේචනයට ලක්වන් ඇතැම් කරුණු ගැන මෙහි විස්තර කොට ඇත.

මිනිස් ඝාතන සඳහා ෂරියා නිතිය : ඉස්ලාම් නොවන නීතිය අනුව මිනිස් ඝාතකයෙකුට එල්ලුම් ගස හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම කෙරේන්නේය. ඒ අනුව එම නීතියට අනුව සමාව ගැනීමට තිබෙන අවස්තාවන් බෙහෙවින් සිමා වන්නේය. එහෙත් ෂරියා නිතිය අනුව මිනිස් ඝාතකයෙකුට අවස්ථාවන් තුනක් හිමි වේ. ඒ අනුව වරද සිදු කල අයගෙන් සමාව ඉල්ලා සිටිය හැකිය. ඒ අනුව ඔහුට සමාව ලැබුනේ නම් නිදහස් විය හැකිය. එම පියවර අසාර්ථක වුයේ නම් වන්දියක් ගෙවා නිදහස පැතිය හැකිය. මෙම අවස්ථාවන් දෙකම අසාර්ථක වුයේ නම් පමණක් ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදු වන්නේය.

විවාහය: ඉස්ලාම් නොවන නිතිය අනුව ඕනෑම කෙනෙකු සමග විවාහ විය හැකි මුත් ෂරියා නිතිය අනුව අල්-කුරණයෙන් තහනම් නොකළ අය සමග පමණක් විවාහ විය හැකිය. මේ නිසා ප්‍රශ්චාත් විවාහ ගැටළු අවම වන්නේය.

බහු විවාහය: 1. ෂරියා නීතියෙන් කොන්දේසි සහිතව විවාහ හතරක් සිදු කිරීමට අවසර තිබේ. එහෙත් එම කොන්දේසි ඉටු කිරීමට නොහැකි අයට එක් විවාහයක් පමණක් කරන ලෙස නියෝග කොට ඇත. 2. ලෝකයේ වැඩිවන කාන්තා ප්‍රතිශතය සඳහා ලබා දිය හැකි හොඳම විසඳුම බහු විවාහයයි.

කාමය වරදවා හැසිරීම: ෂරියා නීතියට අනුව කාමය වරදවා හැසුරුණු කෙනෙකු උසාවියකදී තහවුරු වුවහොත් මරණ දඬුවම නියම කරනු ලැබේ. එහෙත් මේ සඳහා ඇසින් දුටු ශාක්ෂි සතරක් ගෙන ඒම පහසු කාර්යයක් නොවන නිසා එම දඬුවම ක්‍රියාත්මක කළ හැක්කේ කාමය වරදවා හැසිරුණු පුද්ගලයින් විසින් ස්වෙජ්ජාවෙන් එම වරද පිළිගන්නේ නම් පමණි.

ඇඳුම: මිනිසාගේ යහපත උදෙසා ෂරියා නීතියෙන් මුස්ලිම්වරුන්ට ඇඳුමේ සීමාවන් නියම කොට තිබේ. ඒ අනුව ඉස්ලාම් නිතිය පවතින සමාජවල කාන්තා හිංසනයන්වල විශාල අඩුවක් දැකිය හැකිය.

සොරකම: ඉස්ලාම් දහම අනුව සෑම සොරෙකුගේම අත කපන්නේ නැත. ඒ අනුව දහමින් සිමා කොට ඇති වටිනාකම ඉක්මවූ භාණ්ඩ සඳහා පමණක් අත කැපීමට ශරියාවෙන් නියම කරන්නේය. එහෙත් ඉස්ලාම් නොවන සමාජවල සුළු දේවල් වලට පවා මිනි මැරුම් සිදු වන අවස්තාවන් තිබේ.

යුද්ධය: ෂරියා නීතිය අනුව සතුරා යුද්ධය ආරම්භ කළහොත් පමණක් ඊට ප්‍රති ප්‍රහාරය එල්ල කිරීමට අවසර තිබේ. එවැනි අවසරයක් නොතිබුනේ නම් සතුරු ආක්‍රමණයකදී පසු බෑමට සිදු වන්නේය.

ආගමික නිදහස: ඉස්ලාම් දහම තුල බල කිරීමක් නොමැත. ඒ අනුව ඕනෑම කෙනෙකුට තමන් කැමති දහමක් පිළිපැදීමට අවසර තිබේ.

කෙසේ වෙතත් ඕනෑම සමාජයක වැරදි කරන අය නැතුවා නොවේ. මේ නිසා යම් මුස්ලිම්වරයෙක් වැරදි කල පමණින් සෑම මුස්ලිම්වරයෙකුටම දොස් පැවරීම හෝ ඉස්ලාමිය පාසල් වලට විරුද්ධව නැගී සිටීම මුග්ධ කමකි.

By Fasy Ajward. B.Sc (Sp.Phy) Hons.Jpura,

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Share on Facebook

Leave a Reply

Your email address will not be published. Required fields are marked *