කොවිඩ්19 රෝගය වැළඳී මියයන අය අනිවාර්යයෙන්ම ආදාහනය කළ යුතුය යන්න ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක පිළිවෙතයි. මෙම මාතෘකාවට අදාලව කරුණු දක්වමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසා සිටියේ එතුමා විසින් අල් කුර්ආනය දෙවරක් මුල සිට අගට කියවා තිබෙන අතර මෘතදේහ භූමිදානය පමණක් කළ යුතු බවට කිසිදු වැකියක් එහි නොමැති බවයි. cemeteryමිනිසා මිහිතලය මත පළමු මෘතදේහය ලෙස දුටුවේ ආදම් තුමාගේ එක් පුතෙකු විසින් අනිත් පුතාව ඝාතනය කිරීමෙන් ඇතිවූ ඓතිහාසික සිදුවීමෙනි. මෙම මෘතදේහය පිළිබඳ ව කටයුතු කළ යුතු ආකාරය පෙන්වා දීම සඳහා මහා කාරුණික දෙවිඳුන් විසින් පහත සඳහන් අයුරින් අල් කුර්ආනයේ කරුණු දක්වා ඇත.

“තම සහෝදරයාගේ මළ සිරුර (භූමිදානය කොට) සඟවන්නේ කෙලෙසදැ’යි ඔහුට පෙන්වා දෙනු පිණිස භුමිය හාරන්නාවූ කපුටෙකු අල්ලාහ් යැවීය. ‘අහෝ මෙම කපුටා මෙන් වීමටවත් මට නොහැකි වුයේ ද! එබැවින් මාගේ සහෝදරයාගේ මළ සිරුර මා සඟවන්න හැක්කේ යැ’යි ඔහු පැවසුවේය. එබැවින් ඔහු පසුතැවිලි වූවන්ගෙන් (කෙනෙකු) විය” (අල් කුර්ආන් 5:31)

 

මෙය මෘතදේහ භූමිදානය සඳහා වූ පළමු අල් කුර්ආන් මඟ පෙන්වීමයි. පහත සඳහන් අල් කුර්ආන් වැකි වෙතද අවධානය යොමු කරමු.

“ජීවත් වන දෑ ද මළ දෑ ද ග්‍රහණය කරන්නක් ලෙස මිහිතලය අපි පත් නොකළෙම් ද?” (අල් කුර්ආන් 77: 25-26)

 

“එයින් (පොළොවෙහි ඇති පස් වලින්) අපි නුඹලාව මැව්වෙමු. තවද අපි නුඹලාව නැවත එහි (පොළොව වෙතම) යොමු කරන්නෙමු. තවද අපි තවත් වතාවක් නුඹලාව එයින් (විනිශ්චය දිනයෙහි) පිට කරන්නෙමු.” (අල් කුර්ආන් 20:55)

 

“එහිම (පොළොවෙහි) නුඹලා ජීවත් වන්නෙහුය. එහිම නුඹලා මරණයට පත්වන්නේහුය. එයින්ම නුඹලා (මරණින් මතු විනිශ්චය දිනයෙහි) පිට කරනු ලබන්නේහු යැ’යි ද ඔහු (අල්ලාහ්) පැවසුවේය”. (අල් කුර්ආන් 7:25)

 

“පසුව ඔහුව මරණයට පත් කළේය. ඉන් පසුව ඔහුව මිනී වලට ඇතුල් කළේය. පසුව ඔහු (අභිමත කළ විට ඔහුව යලි නැගිටුවන්නේය”. (අල් කුර්ආන් 80:21-22)

 

“තවද සැබැවින්ම (ලොව අවසන්) හෝරාව පැමිණෙන්නකි. එහි කිසිදු සැකයක් නොමැත. තවද සැබැවින්ම අල්ලාහ් (එදින) මිනීවළවල්හි සිටිනා අයව නැගිටුවන්නේය” (අල් කුර්ආන් 22:7)

 

භූමිදානය සඳහා මෙලෙස අදහස් දක්වා ඇති වදන් බොහොමයක් අල් කුර්ආනයේ දක්නට ඇත. නමුත් ආදාහනය සම්බන්ධ කිසිදු වදනක් අල් කුර්ආනයේ දක්නට නොමැත. මේ අනුව මෘතදේහ පිළිබඳ ව ඇති සම්මත ඉස්ලාමීය Cremationඉගැන්වීම් වන්නේ භූමිදානය බව පැහැදිලි වෙයි. භූමිදාන පිළිවෙත ඉටු කිරීම පිළිබඳ විස්තර අල් කුර්ආනය ඉදිරිපත් කරන්නේ නැත. එම විස්තර ඇත්තේ දෙවන මුලාශ්‍රය වූ සුන්නා වෙහිය. මෙයට සමාන වූ කරුණක් අනිවාර්ය සලාතය පිළිබඳ ව දැක්විය හැක. සලාතය ඉටු කරන ලෙස පහත සඳහන් අයුරින් වැකි කිහිපයක්ම දක්නට ඇත. නමුත් සලාතයේ පිළිවෙත අපි ලබා ගන්නේ දෙවන මුලාශ්‍රය වූ සුන්නාව මගිනි.

 

“තව ද නුඹලා සලාතය ස්ථාපිත කර zසකාත් ද දෙනු. තවද (දණහිස මත අත් තබා නැමී) රුකූඋ කරන්නන් සමඟ රුකූඋ කරනු.” (අල් කුර්ආන් 2:43)

 

“නියත වශයෙන්ම මම අල්ලාහ් වෙමි. මා හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් නුඹ මට ගැතිකම් කරනු. තවද මා මෙනෙහි කරනු වස් නුඹ සලාතය විධිමත් ව ඉටු කරනු.”(අල් කුර්ආන් 20:14)

 

මීළඟට ඉස්ලාමයේ මුලාශ්‍ර වෙත අවධානය යොමු කරමු.

ඉස්ලාම්හි මුලාශ්‍ර

ඉස්ලාම් හි ප්‍රධානතම මුලාශ්‍රය වන්නේ:

1. අල් කුර්ආනයයි. අල්ලාහ් (විශ්වයේ අධිපති එකම සත්‍ය දෙවිඳුන්) ගේ සෘජු වදන් මෙහි අන්තර්ගත වන අතර ලොව අවසන් වනතුරු පවතින එකම සත්‍යය දිව්‍යමය මාර්ගෝපදේශය ද මෙය වෙයි.

2. දෙවන මුලාශ්‍රය වන්නේ ‘සුන්නා’ නමින් හැඳින්වෙන මුහම්මද් ධර්ම දුතයාණන්ගේ ක්‍රියා, ප්‍රකාශන හා අනුමත කළ දෑ ය. මෙම කරුණු අඩංගු ග්‍රන්ථ (උදාහරණ: සහිහ් බුහාරි, සහිහ් මුස්ලිම්, ඉබ්නු මාජා, තිර්මිදී, නසායි, යනාදිය) ඉස්ලාමිය විද්වතුන්ගේ දැඩි සුපරීක්ෂාවට භාජනය කොට පිළිගත්  වර්ගීකරණයක් අනුව සකස් කොට තිබේ. ‘හදීස්’ යන අරාබි වචනයට ප්‍රකාශනය, වදන, සිදුවීමක්, අලුත් යන අර්ථ ඇති අතර මෙම වචනය සුන්නා යන සංකල්පයට සමාන අරුත් ඇති පදයක් ලෙස භාවිත කෙරේ. සුන්නාව අන්තර්ගත ග්‍රන්ථ හඳුන්වන්නේ ද හදීස් ග්‍රන්ථ ලෙසිනි. අල් කුර්ආනය හා සුන්නාවට අමතරව;

3. ‘ඉජ්මා’ (සම්මුතිය, එකඟතාව),

4. ‘කියාස්’ (සමාකෘතිය, සමාකාර පොදු දෙයින් සුවිශේෂය නිගමනය කිරීම) හා

5. ඉජ්තිහාද් (තර්කනය හා විචාරය) ආදී කරුණු ද ඉස්ලාම් හි  වැදගත් වෙයි.

ඉජ්මා, කියාස් හා ඉජ්තිහාද් යන තුන් ක්‍රියාවලියේ යෙදිය හැක්කේ අල් කුර්ආන් හා සුන්නාහ් පිලිබඳ විද්වතුන්ටය.

 

සුන්නාහ්ව පිළිගැනීම අනිවාර්ය කෙරෙන අල් කුර්ආන් වැකි බොහොමයක් දක්නට ඇත.

“අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් අවනත වනු ලබන්නට මිස කිසිදු ධර්ම දූතයකු අපි නොඑව්වෙමු…”අල් කුර්ආන් 4:64)

 

“කවරෙකු මෙම රසූල්වරයාට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට අවනත විය. කවරෙකු පිටුපාන්නේ ද (දැන ගනු) අපි නුඹ ව ඔවුන් වෙත ආරක්ෂකයකු ලෙස නොඑව්වෙමු.” (අල් කුර්ආන් 4:80)

 

සුන්නාව අනුව මෘතදේහ සම්බන්ධව වගකීම් හතරක් මුස්ලිම් ප්‍රජාව වෙත පැවරී ඇත. මෙය ‘ෆර්ඩ් කිෆායා’ නොහොත් සාමුහික වගකීමක් ලෙස දක්වා ඇත. යමෙක් මෙම කාර්යයන් හතර ඉටු කරයිද, එමගින් මුස්ලිම් ප්‍රජාවගේම වගකීම සම්පුර්ණ වේ. කිසිවෙකුත් එය ඉටු නොකොට සිටියහොත් මුස්ලිම් ප්‍රජාවම පාපයක් සිදුකර ගත්තා හා සමාන වෙයි. එම වගකීම් නම්.

 

1. මෘතදේහය සෝදා පිරිසිදු කිරීම නොහොත් ස්නානය කරවීම. මේ සඳහා වූ ඉස්ලාමීය මුලාශ්‍රය වන්නේ මුහම්මද් ධර්ම දුතයාණන්ගේ දියණිය වූ සෙයිනබ් තුමිය මියගිය අවස්ථාවේ එම මෘතදේහය පිළිබඳ ව කටයුතු කරන ස්ත්‍රීන් වෙත ‘ඇයව සෝදන ලෙස’ උපදෙස් දීමයි (සහිහ් අල් බුහාරි 2වන වෙළුම අංක 344) – කොවිඩ්19 වසංගත තත්ත්වය තුල වෛද්‍ය හා විද්‍යාත්මක හේතුන් මත මෙම වගකීම ඉටු කිරීම නොසලකා හැරීමට සිදුවී ඇත. එය පිළිගන්නෙමු.

 

2. දෙවන වගකීම වන්නේ කෆන් නම්වූ මෘතදේහ සඳහා වූ ඇඳුම ඇන්දවීමය. මෘතදේහය සෝදා දිය වියළුනාට පසු මෙය අන්දවනු ලැබේ. “මුහම්මද් ධර්මදුතයාණන් පවසා සිටියේ මියගිය තම සහෝදරයාගේ මෘතදේහයට යහපත් අයුරින් මෘතදේහ ඇඳුම ඇන්දවිය විය යුතු බවය” (සහිහ් මුස්ලිම් දෙවන වෙළුම අංක 2058). – කොවිඩ්19 වසංගත තත්ත්වය තුල වෛද්‍ය හා විද්‍යාත්මක හේතුන් මත මෙම වගකීම ඉටු කිරීම ද නොසලකා හැරීමට සිදුවී ඇත. එය පිළිගන්නෙමු.

 

3. තුන්වන වගකීම වන්නේ ‘සලාතුල් ජනාසා’ නම් වූ නැමදුම ඉටු කිරීමය. (මුලාශ්‍රය: සුනාන් අබු දාවුද් දෙවන වෙළුම අංක 3188) – කොවිඩ්19 වසංගත ව්‍යාප්තියක් ඇති නොවන පරිදි සියළුම වෛද්‍ය උපදෙස් පිළිපදිමින් මෙම කාර්යය ඉටු කළ හැක. මේ සඳහා අනුමැතිය ලබා දෙන ලෙස මුස්ලිම් ප්‍රජාව ඉල්ලා සිටියි.

 

4. හතරවන හා අවසාන වගකීම වන්නේ මෘතදේහය භූමිදානය කිරීමය. භූමිදානය පිළිබඳ මුහම්මද් ධර්ම දුතයාණන්ගේ සවිස්තරාත්මක උපදෙස් රාශියක් ඇත. ආදාහනය පිළිබඳ ව කිසිදු අදහසක් එහි අන්තර්ගත නොවේ. මෙයින් පැහැදිලි වන්නේ අල් කුර්ආන් හා මුහම්මද් ධර්ම දුතයාණන්ගේ මග පෙන්වීම් අනුව මෘතදේහ භූමිදානය කළ යුතු බවය. නමුත් භුමිදානයෙන් කුමන හෝ හානියක් සිදුවන බවට තහවුරු කළ විද්‍යාත්මක සාධක ඇත්නම් එවැන්නක් ඉල්ලා සිටීමට මුස්ලිම් ප්‍රජාව සහතික වශයෙන්ම ඉදිරිපත් නොවන්නේය. නමුත් එවැනි හානිකර සාධක කිසිවක් නොමැති බව විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් වී ඇති තත්ත්වය තුල මුස්ලිම් මෘතදේහ භූමිදානය කිරීමට ඉඩ නොදී ආදාහනය කිරීම හේතුවෙන් මුස්ලිම් ප්‍රජාව පත්ව ඇත්තේ ඉමහත් කම්පනයකට හා කලකිරීමකටය. මෘතදේහ භූමිදානය සඳහා අවසරය ලබා දෙන ලෙස අපි ආයාචනය කොට සිටින්නෙමු.

Leave a Comment