නියමිත වයසට පැමිණි චාරිකාවන්හි නොයෙදී සිටින සෑම මුස්ලිමයෙකු ම ඉස්ලාමීය දින දර්ශනයේ නව වන මස (රමළාන් මස) තුළ උපවාසයෙහි නිරත විය යුතුය.  උපවාසයෙහි යෙදෙන කාලය තුළ කෑම බීම වලින් තොරව නිරාහාරව සිටිය යුතු අතර, ලිංගික ක්‍රියාවලියන්ගෙන් ද ඉවත් ව සිටිය යුතුය. මෙයට අමතරව පසිඳුරන් ද පාලනය කර ගැනීමට කටයුතු කළ යුතුය.

“විශ්වාස කළවුනි, නුඹලා බියබැතිමත් වීම පිණිස (දේව සවිඥානකත්වය ඇතිකර ගනු පිණිස) නුඹලාට පෙර වූවනට අනිවාර්ය කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහිද උපවාසය අනිවාර්ය කරනු ලැබ ඇත.” (අල් කුර්ආන් 2:183)

සාමාන්‍ය වශයෙන් අලුයම 4.00 සිට සවස 6.00 දක්වා වූ පැය 14ක පමණ කාලයක් තුල නිරාහාරව සිටීමේ අභ්‍යාසය තුළින් දුප්පතුන්ට, අසරණයින්ට උදව් කිරීමේ මානසිකත්වයක් ඇතිකර ගැනීමට උපකාරී වෙයි. උපවාසයේ ප්‍රධාන අරමුණ ලෙස දක්වා ඇත්තේ ‘තක්වා’ යන අරාබි පදයෙන් අර්ථවත් වන විශ්වයේ අධිපති දෙවිඳුන් පිළිබඳ තම චෛතසිකයේ ඇති කර ගන්නාවූ සවිඥානකත්වය මගින් බියබැතිමත්කම ගොඩ නගා ගැනීමය. උපවාස මාසය අවසන් වී ඊළඟ ‘ෂව්වාල්’ මාසයේ ආරම්භය සනිටුහන් කරන නව සඳ දැකීමත් සමග පසු දින උදෑසන පවත්වනු ලබන ‘ඊද් සලාතයට’ පෙර තම නිවැසියන් සැවොම වෙනුවෙන් එක් එක් අය සඳහා සහල්, තිරිඟු හෝ රට ඉඳි කිලෝ ග්‍රෑම් 2.5ක් දුගී ජනයා වෙත ලබා දිය යුතුය. මෙය තම උපවාස කාලය තුළ සිදුවූ ඇතැම් අඩුපාඩු සඳහා වූ ප්‍රතිකර්මයක් ලෙසත් දුගී ජනයාට ‘ඊද්’ උත්සවය සඳහා වූ උපකාරයක් ලෙසත් සැලකේ. උපවාසයෙන් ලැබෙන ප්‍රතිලාභ පහත සඳහන් අයුරින් කෙටියෙන් දක්විය හැක.

1.       දෙවිඳුන්ට අවනත වීමකි. අන් සියලු නියමයන්ට අවනතවීමට මෙම අභ්‍යාසයෙන් පුහුණුවක් ලබා ගැනීම.

2.       දෙවිඳුන් පිළිබඳ බියබැතිමත්භාවය හා දේව සවිඥානකත්වය ගොඩ නඟා ගැනීම.

3.       චිත්ත ආවේගයන් පාලනයට පුහුණුවකි.

4.       බහු චරිත ස්වභාවය ඉවත් කොට සම්මා ඒකීය චරිතයක් ගොඩ නඟා ගැනීමට අභ්‍යාසයකි.

5.       පසිඳුරන් පාලනය සඳහා වූ පුහුණුවකි.

6.       දුප්පතුන් පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගැනීමට උපකාරයකි‌.  

මිනිසාගේ ස්වභාවය දෙස අවධානය යොමු කළ විට උපවාසයේ හරය වඩාත් පහසුවෙන් අවබෝධකර ගැනීමට හැකිවනු ඇත.

“අනතුරුව ඔහු (එම ආත්මය වෙත) එහි දුෂ්ටකම සහ එහි සැදැහැවත්කම කාවැද්දුවේය” (අල් කුර්ආන් 91:8)

ඉහත අල් කුර්ආන් වැකියෙන් දක්වා ඇත්තේ මිනිසාගේ ස්වභාවය තුල යහ හා අයහ යන ලක්ෂණ දෙකම තිබෙන බවය. මේ හේතුව නිසාම මිනිසාව අයහකමින් වලක්වා යහකම තුල රඳවා ගැනීම සඳහා උපන්දා සිට මරණය දක්වා මිනිසාට පාලකයින් දකින්නට ඇත. මෙම සියලු භෞතික පාලකයින්ට කළ හැකි ව ඇත්තේ මිනිසාගේ බාහිර ක්‍රියාවන් එක්තරා ප්‍රමාණයකට පාලනය කිරීමයි. නමුත් ක්‍රියාවට මුල් වන්නේ මිනිසාගේ සිතයි. මිනිස් සිත බාහිර සියලු පාලකයින්ගෙන් බැහැර වුවකි. මිනිස් සිත පාලනය නොකර ඔහුගේ ක්‍රියාකාරකම් පමණක් පාලනය කිරීමෙන් සිදුවන්නේ ඔහු බහු චරිත ඇත්තෙකු බවට පත්වීමයි. පාලකයාගේ පාලනයේ බලපෑම ඇති විට යහකම සුරකින්නටත් එයින් බැහැර වූ විගස තමාගේ සුපුරුදු චරිතය වෙත යොමු වන්නටත් කටයුතු කිරීම බොහෝ විට සිදු වන්නක් බවට පත් ව ඇත. මෙ මගින් ඔහු යොමු වන්නේ බහු චරිත රංගනයකටය.   නිවැරදි මඟ පෙන්වීමකින් මිනිසාගේ සිත යහ මඟට යොමු කර එය පාලනය කිරීම සඳහා වූ වඩාත් යෝග්‍ය පිළිවෙතකින් තොරව ඔහුගේ ක්‍රියාකාරකම් පමණක් භෞතික පාලකයින් මගින් පාලනය කරන්නට කටයුතු යෙදු විට මිනිසා විකල්ප මාර්ග යොදා ගනිමින් තම සිතේ උත්පාදනය වන වැරදි චින්තනයන් පදනම් කර ගෙන නුසුදුසු ක්‍රියා වෙත යොමු වීම වැළක්විය හැක්කක් නොවේ.

“තම තෘෂ්ණාව තමන්ගේ දෙවිඳුන් වශයෙන් පත් කර ගත්තන් ව ඔබ දැක තිබේ ද? (නබිවරය) ඔබ ඔහුට ආරක්ෂකයෙකු වශයෙන් සිටින්නෙහි ද? ඔවුන්ගෙන් බහුතරය සවන් දෙන්නන් හෝ සිතන්නන් වශයෙන් සිටින බව ඔබ සිතන්නෙහි ද?  ඔවුන් තිරිසනුන් මිස අන් කිසිවක් නැත. සැබවින්ම ඔවුන් (තිරිසනුන්ට වඩා) ඉතාමත් නොමග ගියවුන් වශයෙන් සිටින්නෝය.” (අල් කුර්ආන් 25:43-44)

“කවුරුන් තමන් ව (තම චෛතසිකය) පාරිශුද්ධ කර ගත්තේ ද නියත වශයෙන්ම ඔහු ජයග්‍රහණය කළේය. කවුරුන් එය අපිරිසිදු කර ගත්තේ ද නියත වශයෙන්ම ඔහු අලාභ කර ගත්තේය” (අල් කුර්ආන් 91:9-10)

“කවුරුන් දෙවිඳුන් අබියස පෙනී සිටීම ගැන බිය වී ඉතාමත් පහත් ආශාවන්ගෙන් ඈත් වී තමන් ව වළක්වා ගන්නේ ද ඔහු ළඟාකර ගන්නා ස්ථානය නියත වශයෙන්ම ස්වර්ගයයි.” (අල් කුර්ආන් 79: 40-41).

උපවාසය තුළින් තම චෛතසිකයට පාලකයෙකු පත්කරගෙන එය ඉතා පාරිශුද්ධ තත්වයේ තබා ගැනීමයි ප්‍රධානතම අරමුණ බවට පත්ව ඇත්තේ. පාලකයෙකු තමන් ව නිරීක්ෂණය කරමින් සිටිනා අවස්ථාවේ සියලු කටයුතු නිසි පරිදි සිදුවනු අපි භෞතික ලෝකයේ ඉතා පැහැදිලි අයුරින් දකින්නෙමු. නමුත් 24 පැයම සියලු කටයුතු නිරීක්ෂණය කරමින් කටයුතු කළ හැකි භෞතික පාලකයෙකු සිටිය නොහැක. එහෙයින් මිනිසාට 24 පැයම ඔහුගේ කටයුතු සම්මා අයුරින් සකස් කර ගැනීම පිණිස නව පන්නයේ පාලකයෙකුගේ අවශ්‍යතාවක් මතුවී තිබෙනවා නොවේ ද? එම පාලකයා මිනිසාගේ භෞතික ක්‍රියාකාරකම් පමණක් නොව ඔහුගේ චෛතසිකයේ නලියන සියලු සිතුම් පැතුම් නිරීක්ෂණය කළහැකි ආකාරයේ බලගතු පාලකයෙකු විය යුතුය.

මිනිසාගේ තෘෂ්ණාව පාලනය කොට සම්මා පිළිවෙතක් අනුව කටයුතු කිරීමට හා ඔහුගේ සිත ඔහුට ම පාලනය කර ගත හැකි ආකාරයට උපකාරී විය හැකි පාලකයෙකුගේ අවශ්‍යතාව ඉහත කරුණු අනුව පැහැදිලි වෙයි. එහෙයින් ඔහුගේ පාලකයා පිළිබඳ අදහස් කිහිපයක් විමසා බලමු.        

භෞතික බලගතු පාලකයෙකුගෙන් සිදුවන්නේ ඔහුට උරුම තෝරා ගැනීමේ නිදහස හා අනෙකුත් සුවිශේෂී ලක්ෂණ අර්ථ විරහිත වී ගොස් ඔහු යාන්ත්‍රික තත්ත්වයකට පත් වීම පමණි. භෞතික පාලකයෙකුට මිනිසාගේ ක්‍රියාවන්ගේ උල්පත වූ මනස පාලනය කළ නොහැක.

ඔහුගේ පාලකයා කෙසේ විය යුතු ද යත්:

ඔහු පාර භෞතික විය යුතුය, සර්වඥ විය යුතුය, සර්ව බලධාරී විය යුතුය, විශ්වයේම පරමාධිපති විය යුතුය, පරම කරුණාභරිත විය යුතුය, සර්ව ශ්‍රාවක හා සර්ව දෘෂ්ටික විය යුතය, මිනිසාට නිවැරදි මඟ පෙන්වීම ලබා දෙන්නා විය යුතුය, මරණින් මතු ලෝකයේ මිනිසාට විපාක දීමේ පුර්ණ බලය ඇත්තා විය යුතුය. මෙවන් ගුණාංග නොමැති පාලකයෙකු පිළිබඳ විශ්වාසයෙන් මිනිසාට ලැබිය හැකි කිසිදු යහපතක් තිබිය නොහැක.  

මෙවන් විශ්වාසයකින් ඇති යහපත:

1.       මිනිස් නිර්මාණයේ මුලික පරමාර්ථය සාක්ෂාත් කර ගැනීමක්. 

2.       මෙම අවනතභාවය, කීකරුවීම, වහල්භාවය නිසා ලොව ඇති බලය, නිලය, ධනය වැනි කිසිදු අධිකාරි සාධකයන් ඉදිරියේ වහල් නොවී මිනිස්කමේ අභිමානය රැක ගෙන නිහතමානී ව ජීවත් වීමට ඇති හැකියාව.

3.       ජීවිතයේ අභාග්‍ය දෑ සිදු වූ විට සිත තැන්පත් ව තබා ගැනීමේ හැකියාව. සිය දිවි නසා ගැනීමේ තත්ත්වයකට නොයෑම. තමා විශ්වාස කරන්නා වූ අසමසම පාලකයා තමන්ට ශක්තියක් ලෙස මෙවන් අවස්ථාවන්හි සිත් හි ඇතිකර ගැනීම හේතුවෙන් අධිෂ්ඨාන සහගතව ජීවිතයේ අභියෝගයන් ජය ගැනීමට ඉදිරිපත් වීමට මිනිසාට චෛතසික ශක්තියක් ගොඩනගා ගැනීමට හැකිවීම. 

4.       තම අධිපතිට පමණක් වහල්භාවය ඇති කර ගෙන තිබෙන හෙයින් ඔහුගේ නියමයන්ට හා මඟ පෙන්වීමට අනුකුල ව ජීවිතය සකස් කර ගැනීමට නිරන්තර ව වෙර දැරීම. 

5.       වහලාගේ වගකීම තම පරමාධිපතිගේ අණට අනුකුල වීම, ඔහුට ගෞරව කිරීම, අසීමිත ආදරයක් හා ඇල්මක් ඇති කර ගැනීම, නිරතුරු ව තුති පිදීම.

6.       තම ස්වාමියාට රහසින් කිසිවක් කරන්නට නොහැකි බව අවබෝධ කර ගන්නා හෙයින් බහු චරිතයෙන් මිදී ඒකීය යහ චරිතයක් ගොඩ නඟා ගැනීමට නිරතුරු ව වෙහෙසීම.     

එවන් පාලකයෙකු පිළිබඳ විශ්වාසය තහවුරු කර ගත් අයෙකු නොමග යා හැකි ද?

මෙම පාලකයා සත්‍යයක් ද නැතිනම් මිත්‍යාවක් ද? මෙම මාතෘකාව ද විශ්වාසය පමණක් නොව, යථාර්ථය, බුද්ධිය, විචාරය හා නුතන විද්‍යාව ද පදනම් කර ගෙන   සාකච්ඡා  කළ හැක.

මිනිසා සතු පසිඳුරන් මිනිසා ව පාපය වෙත රැගෙන යන තවත් වැදගත් අංගයකි. උපවාසය මගින් ‘තක්වා’ නම්වූ දේව සවිඥානකත්වය මත පදනම් වූ බියබැතිමත්කම ඇතිකර ගැනීම තුළින් තමන්ගේ පසිඳුරන් ද මෙමගින් පාලනය කර ගැනීමට උපකාරී වෙයි. යහ දෑ කතා කිරීම, අයහ දෑ කතා නොකිරීම, යහ දෑට සවන් දීම, අයහ දෑට සවන්දීමෙන් වැළකීම, යහ දෑ දැකීම, අයහ දෑ දැකීමෙන් වැළකීම ආදිය මගින් මෙම මාසය තුලදී විශාල පුහුණුවක් අත්කර ගැනීමට හැකියාව ලැබෙයි.  උපවාස මාසය අප සැවොම මානසික හා ශාරීරික පුහුණු අභ්‍යාසයන්ගෙන් යුත් පාසලකට අතුල්වුවා හා සමානය. මිනිසාව සම්මා ජීවිතයකට යොමුකරවන පුහුණු කඳවුරක් ලෙස සැලකිය හැකි උපවාස මාසය තුළින් ලබන්නා වූ දැහැමිකම මුළු ජීවිතයටම අදාළ කර ගැනීම සෑම මුස්ලිම්වරයෙකුගේම වගකීමකි. මෙම මාසය තුල ලබාගන්නා දැහැමි හා සැදැහැවත්කම කෙමෙන් දුර්වලවීමට ඇතැම් විට ඉඩකඩ් ඇත. නමුත් උපවාස මාසය පසුකොට  එකොළොස් මසකින් පසු නැවත උපවාසය නම්වූ මෙම ආධ්‍යාත්මික වර්ධනය ඇතිකොට දැහැමි හා සැදැහැවත් කමක් ලබාදෙන පුහුණු පාසල ඇරඹෙන හෙයින් මිනිසාට සදා මිනිස්කමේ ශ්‍රේෂ්ඨත්වය තුල ජීවත් වී එම ශ්‍රේෂ්ඨත්වය ඇතිව ම මෙලොවින් සමුගන්නා මොහොත දක්වා කටයුතු කිරීමට අවස්ථාව උදාවේ. එහෙයින් උපවාසය තුළින් මිනිසත්කමේ ශ්‍රේෂ්ඨත්වය අත්කර ගැනීමට කටයුතු කරමු.

(ඉහත ලිපියේ බොහෝ තොරතුරු විවිධ මුලාශ්‍රයන්ගෙන් ලබාගත් ඒවාය – සිංහල මාධ්‍යය පාඨකයාට නිවැරදි තොරතුරු ලබා දීම මෙම ලිපියේ අරමුණයි)

Leave a Comment