ඇඳුම් ඇඳීම සත්ව ලෝකයේ මිනිසා පමණක් කරන්නා වූ ක්‍රියාවකි. එසේ කිරීමට ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ මිනිස් චෛතසිකයේ ස්වාභාවිකවම දකින්නට ඇති ලජ්ජා බය බව නොරහසකි. මිනිස් වර්ගයාගේ පැවැත්ම සහතික වී ඇත්තේ ප්‍රතිවිරුද්ධ ලිංගිකත්වය කෙරෙහි ඇති ආකර්ෂණය මගින් සිදුවන ලිංගික ක්‍රියාව මගිනි. සදාචාරාත්මක මිනිස් සමාජයක මෙම ක්‍රියාව සඳහා පවුල් සංස්ථාව ස්ථාපනය කොට ඇත.

මිනිසා බඳු විෂම ලිංගික (Hetero Sexual) සත්වයින් තුළ ලිංගික හැඟීම් ඇති වන්නේ එක්තරා අන්තරාසර්ග (Endocrine) ග්‍රන්ථියකින් වහනය වන හෝර්මෝන වර්ගයන් නිසා බව පර්යේෂණාත්මක මනෝ විද්‍යාවෙන් හා ජීව රසායන විද්‍යාවෙන් පෙන්වා දී ඇත. අධිලිංගික හෝ අවලිංගිකතාව මේ ග්‍රන්ථි වල අධික්‍රියාකාරිත්වය හෝ අවක්‍රියාකාරිත්වය මත කෙළින්ම රඳා පවතී.

ප්‍රති විරුද්ධ ලිංගිකයන්ගේ දර්ශනය, ගන්ධය, ස්පර්ශය, ශබ්දය ආදී ඉන්ද්‍රිය ග්‍රහණ නිසා හෝ ඒ සම්බන්ධ වෙනත් දෙයක් නිසා හෝ සිතේ ලිංගික හැඟීම් පිබිදේ. මෙහි ප්‍රතිඵලය ලෙස චාලක ස්නායු (motor nerve) ඔස්සේ ලිංගික ග්‍රන්ථි කරා විද්‍යුත් ආවේග ගමන් කරයි. එවිට එම ග්‍රන්ථි වලින් රුධිරයට හෝර්මෝනය වහනය වෙයි. රුධිර සංසරණය මගින් මොළය දක්වා එන මෙම හෝර්මෝන පුද්ගලයාගේ සිතුවිලි තවත් පුබුදු කරවයි. ජීව විද්‍යාත්මක සාධකයක් වන මෙම කායික වේදී ක්‍රියාදාමයෙන් මතු වන චිත්තාවේග මර්දනය කිරීම එතරම් පහසු කාර්යයක් නොවේ.

නූතන මනෝ විද්‍යාව අපට උගන්වන්නේ පුරුෂයින්ට හා ස්ත්‍රීන්ට ලිංගික උත්තේජනය සිදුවන ආකාරයේ වෙනසක් ඇති බවය. අඩු ඇඳුමින් සැරසුණු පිරිමියෙකු  දැකීමෙන් ස්ත්‍රියකගේ මනසේ ලිංගික පිබිදීමක් ඇතිවන්නේ ඉතාමත්ම අල්ප වශයෙන් බවත් ස්පර්ශය තුළින් ඇගේ හැඟීම් අවදිවීම ඉතා අධිකව සිදුවන්නක් බවත් මනෝ විද්‍යා සොයා ගැනීමෙන් තොරව වුවත් අප අත්දකිනා සත්‍ය කරුණකි. අනෙක් අතින් අඩු ඇඳුමින් සැරසුණු ස්ත්‍රියකගේ ශරීරය දැකීමෙන් පිරිමියෙකුගේ සිත තුළ ඇතිවන රාගික හැඟීම් ඉතාමත්ම අධික බවත් අප දන්නා සත්‍යයකි.

ඇඳුම සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් විය හැකිය යන්න සත්‍යයකි. කිතුනු මව්තුමියකගේ හෝ භික්ෂුණියකගේ හෝ ඇඳුම එක හා සමාන නොවිය හැක. නමුත් මෙම ඇඳුම්  දෙකම සදාචාර සම්පන්න යැයි පැවසීම ඉතාමත් නිවැරදිය. අප මෙම ඇඳුම් සදාචාර සම්පන්න යැයි පවසන්නේ ඇයි? පිරිමියෙකුට මෙම දෙදෙනා දෙස බලන්නට සිදුවුවහොත් ඔහුගේ සිතේ ඇති වන්නේ කුමන ආකාරයේ හැඟීම්ද? සත්‍ය වශයෙන්ම ලිංගික හැඟීම් ඇති වීමට ඉඩක් තිබේ ද? දෙදෙනාම ස්ත්‍රීන්. නමුත් මෙම ස්ත්‍රීන් දෙදෙනා දෙස බලා තම සිතේ ලිංගික උත්තේජනයක් ඇති නොවීමට ප්‍රධාන හේතුව කුමක්ද? තම හෘදසාක්ෂියට එකඟව පැවසිය හැකි එකම සත්‍යය වන්නේ ඔවුන්ගේ සිරුරු වැසෙන පරිදි ගෞරවනීය ලෙස ඇඳ ඇති “ඇඳුම” බව නොවේද? එසේනම් තමන්ගේ මව, බිරිය, දියණිය, සහෝදරිය හෝ ඕනෑම ස්ත්‍රියක් මහමග අන් පිරිමින්ගේ සිත් අනවශ්‍ය ලෙසට නොසන්සුන් නොකොට හා එම අයගේ සිත් තුළ ලිංගික හැඟීම් ඇති නොකොට සිටීමට නම් ඔවුන්ගේ ඇඳුම් සංවර විය යුතු බව අප පිළිගත යුතු නොවන්නේ ද?

කිතුනු මව් තුමිය ඇගේ මුහුණ, දෑතේ මැණික් කටුවෙන් (wrist) පහත අත්ල හා දෙපයේ වළලුකරින් (ankle) පහත පාද කොටස යන ශරීර පෙදෙස් හැර මුළු ශරීරයම වැසෙන පරිදි  ඇඳුම් ඇඳ ඇති ආකාරය දකින පිරිමියෙකුගේ මනසේ ඇය පිළිබඳව ඇති වන්නේ ගෞරවයක් යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. ඇගේ පාදද පාවහන් වලින් හා බොහෝ විට මේස් වලින් ආවරණය වී ඇත. මෙහෙණීන් වහන්සේගේ ඇඳුමද මෙයටම සමාන සංවරතාවකින් යුක්ත වන්නකි. එකම වෙනස වන්නේ භික්ෂුණියකට හිස වසා ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවන්නේ එය සම්පුර්ණයෙන්ම මුඩුගා ඇති හෙයිනි. මෙසේ නොවී තිබුණේ නම් කිතුනු මව්තුමිය මෙන්ම මෙහෙණීන් වහන්සේ නමක් වුවද දකින පිරිමියෙකුට ගෞරවය වෙනුවට ඇති විය හැක්කේ කුමන ආකාරයේ චෛතසික හැඟීම් ද යන්න ගැන අමුතුවෙන් අටුවා ලිවීමේ අවශ්‍යතාවක් නොමැත.

මුස්ලිම් කාන්තාව තම ශරීරය හොඳින් වැසෙන පරිදි ඇඳුම් අඳින්නේ පිරිමින්ගේ “බලපෑම්” නිසා බවටද මතයක් ඇත. මෙය පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන ඉතාමත්ම  අර්ථ විරහිත අදහසකි. සදාචාර සම්පන්න ස්ත්‍රිය නිරන්තයෙන් උත්සාහ කරන්නේ ලැජ්ජ  බය ඇතිව යහ අයුරින් ඇඳුම් අඳින්නටය. තම ශරීරය හොඳින් වැසෙන්නට ඇඳුම් අඳින ස්ත්‍රියගේ මනස තුළත් ඇති වන්නේ ලැජ්ජ බය මුසු වූ  තමාගේ චරිතයේ පිරිසිදුභාවය පිළිබඳ හැඟීම්ය. තම ශරීරය හැකි තරම් විවෘතව තබා ගන්නට වෙර දරන අයගේ මනසේ ඇත්තේ මෙයට හාත්පසින්ම වෙනස් වූ තත්ත්වයකි. තම ශරීරය විවෘතව තබා ගැනීමෙන් දන්නා හා නොදන්නා පිටස්තර පිරිමින්ගේ අනවශ්‍ය අවධානයට තමා ලක් වන අතර ඔවුන්ගේ ලිංගික අභිලාෂයන්ගේ ඉලක්කයක් බවටද පත් වීම වළක්වාගත නොහැකි කරුණක් වනු ඇත. මහමග පිරිමින්ගේ ආශාව පිරුණු දෙනෙත් තමා වෙත යොමු වන විට යහ ස්ත්‍රීන් පත්වන්නේ ඉතාමත් අසීරු තත්ත්වයකටය. මෙවන් අනවශ්‍ය අවධානයකට වැඩිපුරම ලක්වන්නේ ශරීරය හොඳින් වසා ගත් ස්ත්‍රීන්ද නැතිනම් අඩනිරුවතින් හා ශරීරයටම ඇලෙන පරිදි ඇඳුම් ඇඳ මහමග සැරිසරන ස්ත්‍රීන්ද? වැඩි අවධානය යොමු වන්නේ අඩනිරුවත් ස්ත්‍රීන් කෙරෙහි බව කිසිම සැකයක් නොමැත. මෙවැනි තත්වයන් නිසා ස්වභාවයෙන්ම ශාරීරිකව දුර්වල ස්ත්‍රිය බොහෝ විට ලිංගික බලහත්කාරකම් හා අතවර වලට ලක් විය හැකි ඉඩකඩ ඉතාමත්ම අධිකය. අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා තැබීමෙන් ඇති ඵලය කුමක්ද? හානියක් වන්නට පෙර නිසි පියවර ගැනීම වැදගත් බව මෙයින් පැහැදිලි නොවන්නේද?

පහතින් දක්වා ඇත්තේ ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥවරියක් විසින් අඩු ඇඳුමින් සැරසුණු ස්ත්‍රීන් සම්බන්ධව පිරිමින් ක්‍රියා කරන ආකාරය ගැන පවත්වන ලද පර්යේෂණයක් මගින් සොයා ගත් කරුණු පිළිබඳ විස්තරයකි.

පුරුෂයින්ගේ හැසිරීම පිළිබඳ ව කරන ලද පර්යේෂණයකට අනුව පිහිනුම් ඇඳුමින් සැරසුණු (කාමුක) කාන්තාවන්ව කෙළි භාණ්ඩයක්‌ ලෙස දකින්නට ප්‍රබෝධයක් පිරිමින්ගේ සිත් තුළ ඇති කරවයි.

නැෂනල් ජියොග්රැෆික් නිව්ස්:

ඇමරිකාවේ, චිකාගෝ නගරයේ සිට ක්‍රිස්ටීන් ඩෙල් ඇමෝ වාර්තා කරයි

ෆිස්ක් මහත්මියගේ ප්‍රකාශනයක් අනුව පුරුෂයින්ගේ හැසිරීම පිළිබඳව කරන ලද අලුත්ම පර්යේෂණයකට අනුව පිහිනුම් ඇඳුමින් සැරසුණු කාමුක කාන්තාවන්ව භාණ්ඩයක්‌ ලෙස දකින්නට ප්‍රබෝධයක් පිරිමින්ගේ සිත් තුළ ඇති කරවන බව ඔප්පු වී ඇත. අඩු ඇඳුමින් සැරසුණු ස්ත්‍රීන්ගේ පින්තූර පිරිමින්ට පෙන් වූ විට උපකරණයක් හෝ මෙවලමක් දුටු විට ඔවුන්ගේ මොළයේ උද්දීපනය වන කොටස අවදි වූ බව ස්කෑනයක මාර්ගයෙන් සනාථ කර ගෙන ඇත. ඇමෙරිකාවේ ඉතා ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක් වූ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාඥවරියක් වූ සුසාන් ෆිස්ක් මහත්මිය විසින් කරන ලද මෙම පර්යේෂණය අනුව අඩු ඇඳුමින් සැරසුණු කාන්තාවන්ගේ පින්තූර දුටු විට පිරිමින්ගේ සිත් තුළ උත්තම පුරුෂ ක්‍රියා පදයන් වූ “මම තද කරමි, මම බදා ගනිමි, මම හසුරුවන්නෙමි – “I push, I grasp, I handle,” යනාදී අදහස් ඇති වන බවද මෙම මනෝ විද්‍යාඥවරිය පවසා ඇත.   

ඉතාම කම්පනීය සොයා ගැනීම වුයේ මෙම පරීක්ෂණයට සම්බන්ධ වූ ඇතැම් පිරිමින්ගේ මොළයේ මෙම පර්යේෂණ අවස්ථාවේදී තවත් අයෙකු මුණ ගැසුන විට අනිකාගේ අදහස් පිළිබඳව සිතන ස්ථානයේ කිසිදු ක්‍රියාකාරකමක් දක්නට නොලැබුණු බවයි. මෙයින් අදහස් වන්නේ මෙම පිරිමින් ස්ත්‍රීන් සම්බන්ධව දකින්නේ  ලිංගිකත්වයට ආරාධනා කරන අය ලෙස බවත් එම ස්ත්‍රීන්ගේ සිතුවිලි පිළිබඳව තැකීමක් මෙම පිරිමින් තුළ නොතිබුණු බවත් ය.

විෂම ලිංගික(ස්ත්‍රී/පුරුෂ) චර්යාවන් ඇති පිරිමි 21 දෙනෙකු තෝරා ඔවුන්ගේ ලිංගික ආකල්පයන් ගැන පළමුව පරීක්ෂණයක් පවත් වන ලදී. මෙම පරීක්ෂණයට පැමිණි පිරිමින්ට අඩුවෙන් ඇඳගත් කාන්තාවන්ගේ හා හොඳින් ඇඟ වැසෙන පරිදි ඇඳ ගත් පිරිමින්ගේ හා කාන්තාවන්ගේ පින්තූර පෙන්වන ලදී. පිරිමින්ගෙන් බහුතරය හිස පෙදෙස නොමැති බිකිනි ඇඳ ගත් කාන්තාවන්ගේ රුප තත්පරයෙන් 1/5 ක් වූ කාලයකට පෙන්වුවත් ඒවා ඉතා හොඳින් මතකයේ රඳවා ගෙන තිබුණු බව දක්නට ලැබිණ. මේ බව ෆිස්ක් මහත්මිය විසින් ඇමරිකානු විද්‍යාඥන්ගේ සංගමයකට වාර්තා කර තිබිණ.

එයට අමතරව මිනිසත් බවක් ඇති, සිතීමට හැකි, චේතනාවන් ඇති අයෙක් දුටු විට මොළයේ ඇති වන ආකාරයේ කිසිම ක්‍රියාකාරිත්වයක් මෙම බිකිනි ඇඳ ගත් ස්ත්‍රීන්ව දුටු විට ඔවුන්ගේ මොළයේ දක්නට නොතිබිණ.

නැෂනල් ජියෝග්‍රෆි ප්‍රවෘත්තියට ෆිස්ක් මහත්මිය විසින් පවසා සිටි පරිදි මෙවන් අධ්‍යයනයක් ස්ත්‍රීන්ව සම්බන්ධ කරගෙන අඩු ඇඳුමින් සැරසුන පිරිමින්ගේ ශරීර පෙන්වුයේ නම් මෙවන් ආකාරයෙන් එම පිරිමින්ව අමනුෂ්‍ය (භාණ්ඩයක) තත්ත්වයකින් ඔවුන් විසින් ග්‍රහණය කර නොගනු ඇත යන්නය.  

ඇඳුම පිළිබඳ ඉස්ලාමීය මතය

නබිවරය, නුඹගේ බිරියන්ට ද නුඹගේ දියණියන්ට ද විශ්වාසවන්තයින්ගේ කාන්තාවන්ට ද ඔවුන්ගේ ජිල්බාබයෙන් (හිස ඇතුළුව ශරීරයම වැසෙන පරිදි අඳින බාහිර ඇඳුම) තමන් මත පහළට එල්ලන්නට සලස්වන මෙන් පවසවූ. එය ඔවුන් හඳුනා ගනු පිණිසත් හිංසනයට ලක් නොවීමටත් උචිත වන්නේය”. (අල් කුර්ආන් 33:59)

“(නබිවරය) තමන්ගේ බැල්ම පහත හෙළන මෙන් ද තමන්ගේ ලිංගික අවයව ආරක්ෂා කරගන්නා මෙන් ද විශ්වාසයින්ට පවසවූ”. (අල් කුර්ආන් 24:30)

 “තවද, (නබිවරයාණනි) විශ්වාස කරන ස්ත්‍රීන්ට, තමන්ගේ බැල්ම පහත හෙළන්නටද, තමන්ගේ ලිංගේන්ද්‍රියන් ආරක්ෂා කරගන්නටද, තමන්ගේ දේහ අලංකාරය (සාමාන්‍යයෙන් පිටත පෙනෙන පෙදෙස හැර) නොපෙන්වන ලෙසටද තමන්ගේ ළැම පෙදෙස සළුවකින් ආවරණය කරගන්නටද පවසවූ.” (අල් කුර්ආන් 24:31)

තවද, නුඹගේ නිවෙස්හි රැඳී සිටින්න. (අල් කුර්ආනය පහළ කිරීමට) පෙර වූ අඥාන යුගයේ මෙන් දේහ අලංකාරය ප්‍රදර්ශනය කරමින් නො ඇවිදින්න.” (අල් කුර්ආන් 33:33)

ආදම්ගේ දරුවනි, නුඹලාගේ රහසඟ ආවරණය කරන්නක් ලෙස ද (නුඹලාට) අලංකාරයක් ලෙස ද සැබැවින්ම අපි නුඹලාට වස්ත්‍ර පහල කර ඇත්තෙමු. නමුත් බියබැතිමත්භාවයේ වස්ත්‍රය, එයමය ශ්‍රේෂ්ඨ වන්නේ.” (අල් කුර්ආන් 7:26)

 “එක් එක් දහමකටම අයත් සදාචාරාත්මක පිළිවෙත් ඇත. ඉස්ලාමයේ සදාචාරය ලැජ්ජා බය  (අල් හයා) මත සකස් වී ඇත.” (නබි වදනක්-ග්‍රන්ථය: අල් හාකිම්)      

ලැජ්ජා බය (අල් හයා) ඊමානයේ (ඉස්ලාමීය විශ්වාසය) කොටසකි. ඊමානය ස්වර්ගයට මඟ පෙන්වයි” (නබි වදනක් – ග්‍රන්ථය බුහාරි)

ඇඳුම සඳහා වූ නිර්ණායකයන්

අල් කුර්ආනයේ සහ සුන්නතය (මුහම්මද් ධර්ම දුතයාණන් ගේ වදන්, ක්‍රියා හා අනුමත කළ දෑ ‘සුන්නතය’ යනුවෙන් හැඳින් වේ) අනුව මූලික වශයෙන් ඉස්ලාමීය ඇඳුම සඳහා  නිර්ණායකයන් හයක් දැක්විය හැක. ආවරණය කළ යුතු ප්‍රමාණයන් පහතින් දක්වා ඇත්තෙමු.

1.       පළමු නිර්ණායකය අනුව ශරීරයේ ආවරණය කළ යුතු ප්‍රමාණය දක්වා ඇත. පුරුෂයින්ට හා ස්ත්‍රීන්ට ආවරණය කළ යුතු ප්‍රමාණයේ වෙනසක් ඇත. පුරුෂයින්ට අවම වශයෙන් නාභියේ සිට දණහිස දක්වා වැසීම අනිවාර්ය වන්නේය. ස්ත්‍රීන් සඳහා මුහුණ හා දෑතේ (අත්ලේ) මැණික් කටුව දක්වා හැර සම්පුර්ණ ශරීරයම වැසීම අනිවාර්ය වෙයි. නිරාවරණය කිරීමට හැකි මෙම ප්‍රදේශය ද  ස්ත්‍රියගේ කැමැත්ත පරිදි ආවරණය කර ගත හැක. ඉතිරි  නිර්ණායකයන් පහම ස්ත්‍රී හා පුරුෂ දෙපාර්ශවයටම පොදුය.  

2.       ඇඳුම බුරුල් ව පිහිටිය යුතු අතර  ශරීරයේ හැඩය විදහා නොදක්වන ආකාරයේ එකක් විය යුතුය.

3.       ඇඳුම ශරීරය පෙනෙන අයුරින් විනිවිදභාවයකින් තොර විය යුතුය.

4.       ප්‍රතිවිරුද්ධ (ස්ත්‍රී පුරුෂ) පාර්ශවයේ ආකර්ෂණයට ලක්වන පරිදි ඇඳුම මනමෝහනීයත්වයකින් නොවිය යුතුය.  

5.       ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ ඇඳුම හා සම නොවිය යුතුය.

6.       ඉස්ලාම් නොවන ආගමිකයින්ගේ ආගමිකත්වය සංකේතවත් කරන ඇඳුම් නොඇඳිය යුතුය.

මේ අනුව ඉස්ලාමීය ඇඳුම පිළිබඳ ප්‍රමාණවත් අයුරින් කරුණු ඉහතින් ඉදිරිපත් වී ඇතැයි විශ්වාස කරන්නෙමු.

 ඉහතින් දක්වා ඇති නිර්ණායකයන් අනුව ඇඳුම් ඇඳීමයි ඉස්ලාමීය ඉගැන්වීම් තුළින් දක්වා ඇත්තේ.

(ඉහත ලිපියේ බොහෝ තොරතුරු විවිධ මුලාශ්‍රයන්ගෙන් ලබාගත් ඒවාය – සිංහල මාධ්‍යය පාඨකයාට නිවැරදි තොරතුරු ලබා දීම මෙම ලිපියේ අරමුණයි)

Leave a Comment